ආලවක දමනය
බුදුන් වහන්සේගේ පුරිසදම්ම සාරථී ගුණය පෙන්වීම සඳහා බොහෝ දෙනා ආලවක දමනය දක්වති.......එහෙත් බුදුන් වහන්සේ ආලවක දමනය කළේ කෙසේදැයි ඇසුවේ නම් ඔවුහු නිරුත්තරය.
උන් වහන්සේ ආයුධ තබා ඉඳි කටුවක් වත් භාවිත කළේ නැත. දරුණු බවේ ප්‍රතිමූර්තියක් බදු වූ ආලවක යක්ෂයා බුදුන් වහන්සේ විසින් නිරායුධව දමනය කළ සේක. එය කළේ කෙසේදැයි අප නොදන්නේ නම් "දමනය" යන වදන නිසා වැරදි චිත්ත රූප සිත් තුල ඇති විය හැකිය. එනිසාවෙන් අලවු යක් දමනයේ කථාව අප දැන සිටිය යුතුමය.
දිනක් බුදුන් වහන්සේ අළුයම් වෙලේ ලොව බලන සේක් අලවූ කුමරුට අනාගාමී වීමේ පිං ඇති බව දැක ආලවක යක්ෂ විමනට වැඩි සේක. ඒවේලේ අලවු යකු යක්ෂ සමාගමයට ගොස් සිටි අතර විමන භාරව සිටි ගද්‍රභයා බුදුන් වහන්සේ පිටත් කිරීමට හැකි හැම උත්සාහයක්ම දැරීය. පසුව ආලවක යක්ෂයාද පැමිණියේය.
"මහණ නිකම යව" බුදුන්ට අණ දුන්නේය.
"මැනවැයි ඇවති" බුදු හිමි කීකරුව එළියට නික්මුණ සේක.
"මහණ මෙහි එව"
බුදුන් වහන්සේ එයටද කීකරුව යළි වැඩි සේක. මෙසේ තෙවරක් සිදු විය. සිවු වෙනි වතාවේදී
"නැත ඇවැත..........නික්ම නොයමි.....කල හැක්කක් කරන්නැ " යි වදාළ සේක.
"මහණ මම නුඹෙන් ප්‍රශ්නයක් විමසමි. එය විසඳන්නට නොහැකි වුව හොත්.... ළය පලන්නෙමි.......සිත පෙලන්නෙමි.....දෙපය ගෙන පර සක්වලට දමන්නෙමි" යි යක්ෂයා ගුගුලේය.
"ඇවැත එය කළ හැක්කෙක් දෙව් මිනිස් බඹ ලොව නැත්තේය..... එහෙත් කැමැත්තක් අසන්න." බුදුන් වහන්සේ වදාළ සේක.
මෙවිට ආලවක යක්ෂයා විසින් විසදිය නොහැකි යැයි පරම්පරාවෙන් හිමිව තිබූ ප්‍රශ්න බුදු හිමිට ඉදිරිපත් කළේය. ඒවත් ලැබුණු පිළිතුරුත් ආලවක සූත්‍රයේ මෙසේ දැක්වේ.
- ලොවෙහි පුර්ෂයාට කවර ධනයක් ශ්‍රේෂ්ඨද?
ශ්‍රද්ධාව ශ්‍රේෂ්ඨතම ධනයයි
- කවරක් සුව දේද?
ධර්මය පුරුදු කර කල්හි සුව දේ
- රසයන් අතුරෙන් කුමක් මියුරු වේද?
රසයන් අතුරෙන් සත්‍ය මියුරු වේ
- කෙසේ ජීවත් වන්නවුන් ශ්‍රේෂ්ඨද?
ප්‍රඥාවෙන් ජීවත් වන්නවුන් ශ්‍රේෂ්ඨය.
- කවර ලෙස ඕඝයන් තරණය කෙරේද?
ශ්‍රද්ධාව කරණ කොට සසර සැඩ පහරින් එතෙර වෙයි.
- කවර ලෙස සංසාර සාගරයෙන් එතෙර වේද?
අප්‍රමාදය සංසාර සාගරයෙන් එතෙර කරයි.
- කවර ලෙස සසර දුක් දුරු කෙරේද?
වීර්ය කරණ කොට ගෙන දුක දුරු කෙරෙයි.
- කවර ලෙස පිරිසිදු වේද?
ප්‍රඥාවෙන් පිරිසිදු වෙයි.
- කෙසේ ප්‍රඥාව ලබයිද?
කුසල් අකුසල් විපාක දන්නා අප්‍රමාද පුද්ගලයා නිවනට යනු පිණිස බණ අසා ඇදහීම් ඇත්තෙක්ව ප්‍රඥාව ලබයි.
- කෙසේ වස්තුව ලබයිද?
අනාගාමී පිණිස උපාය ඇති, නොපසු බස්නා වීර්ය ඇති, පටන් ගත් වීර්ය ඇති තෙමේ ලෞකික හා ලෝකෝත්තර ධනය ලබයි.
- කෙසේ කීර්තියට පැමිණේද?
සත්‍ය වචනයෙන් කීර්තියට පැමිණෙයි.
- කෙසේ මිතුරන් පිහිටයිද?
දානය පුහුණු කළ තැනැත්තා මිතුරන් ලබයි.
- මෙලොවින් පරලොව ගොස් කෙසේ ශෝක නොකරයිද?
යමෙක් සත්‍ය, ධර්මය, ධෛර්ය්‍යය, පරිත්‍යාගය යන සතර ධර්මයෙන් පුහුණු කලේ නම් හේ පරලොව ශෝක නොකරයි.
සත්‍ය, ඉන්ද්‍රිය දමනය, පරිත්‍යාගය, ඉවසීම යන ධර්මයට වඩා උසස් වූ කිසිම ධර්මයක් ලොව නැත්තේය. එසේ වේ නම් විමසන්නැයි (සොයාබලන්නැයි) බුදුන් වහන්සේ දේශනා කළ සේක.
"ස්වාමීනි පරලොවට විපාක දෙන්නා වූ යමක් වේ නම් මම එය අර්ථ වශයෙන්ම දැන ගතිමි." තවත් කුමට විචාරන්නදැයි අලවු යකු පැවසුවේය.
ආලවක යක්ෂයාට විසදිය නොහැකි ගැටළු ලෙස පරම්පරාවෙන් ලැබී තිබූ ප්‍රශ්න වලට බුදුන් වහන්සේ ලබා දුන් පිළිතුරු ගැන අලවු යකු ඉමහත් පැහැදීමට පත් විය.
"ස්වාමීනි යටිකුරු කර භාජනයක් උඩුකුරු කර සේ, යටපත් වූ නිධානයක් විවෘත කරන්නා සේ.....මං මුලාවූ වකුට මග කියන්නාක් මෙන්....ඇස් ඇත්තෝ රූප දකිත්වා යැයි අන්ධකාරයෙහි පහනක් දල්වන්නාක් මෙන් භාග්‍යවතුන් වහන්සේ ධර්මය දේශනා කළහ" මම බුදුන්, දහම්, සඟුන් සරණ යමි'යි ආලවක යක්ෂ තෙමේ තෙරුවන් සරණ ගියේය.
බුදුන් වහන්සේ ආලවක යක්ෂයා දමනය කළේ එසේය. නැතිව පොලු මුගුරු ගෙන හෝ බැණ වැදී හෝ වාද විවාද කර නොවේ.......
Last Updated (Wednesday, 29 July 2009 19:53)



Comments
RSS feed for comments to this post.