චන්දකින්නර ජාතකය
කැලේ තියෙන කොයි දේමත් රස වේවා
මලේ ඹමරු සේ පිරිවර ඇති වේවා
අවුවේ තිබෙන රැස්මාලා අඩු වේවා
ගවුවෙන් ගවුව දිව මාලිග ඉදි වේවා
හිමයේ ගොසින් මල් යහනක සිටිනවද
කෝමල අනගි සිරිපා දෙක රිදෙනවද
හිගේ නැතුව දෙවියෝ මුර කරනවද
මගේ හිමි සඳුනි ඔබ තවමත් තනිවමද
ආදරයේත් ප්‍රේමයේත් නිකලැල් බවත් එහි සත්‍යක්‍රියා බල මහිමයත් වෙනුවෙන් යශෝදරා චරිතය බෞද්ධ සාහිත්‍යය පුරාවටම සාක්ෂි දෙන්නීය.
බුදුරජානන් වහන්සේ බුද්ධත්වයට පසුව කිඹුල්වත් නුවරට වැඩි ගමනේ සුද්ධෝධන රජ තුමාගේ මාළිගාවටද වැඩම කල සේක. ඒ අවස්ථාවේ ශෝකය වාවා ගත නොහැකි වූ යශෝදරාව බුදු පාමුල වැඳ වැටී කඳුළු සලද්දී සුද්ධෝධන රජතුමා ඇයගේ ගුණ වර්ණනා කළේය.
"ස්වාමීනි ඔබ වහන්සේ එක් වේලක් පමණක් වළඳන බව අසා ඇයද එයට හුරු වූවාය. ඔබ වහන්සේ කසාවත් දරන බව අසා ඇයද වටිනා සළු පැළදීම අත්හැරියාය. ස්වාමීනි ඇය සියළු විවාහ යෝජනා ප්‍රතික්ෂේප කළාය." මෙය ඇසූ බුදුන් වහන්සේ පෙර භවයන් හීදීත් ඇය පතිවත සුරැකි ස්ත්‍රියකැයි චන්දකින්නර ජාතකය දේශනා කළ සේක.
පෙර දවස බරණැස් නුවර බ්‍රහ්ම දත්ත නම් රජ කෙනෙක් රජකම් කළේය. මේ කාලයේම හිමාල වනයේ ප්‍රදේශයක සඳකිඳුරු යුවලක්ද වාසය කළේය.
දිනක් රජතුමා දුනුහී ඇතිව වනාන්තරයට වැද දඩ කෙළියේ යෙදෙද්දී මෙම කිඳුරු යුවල දුටුවේය. සඳකිදුරියගේ රූපශ්‍රීයට වසඟ වූ රජතුමා ඇයව හිමි කරගන්නට සිතා සැඟවී සිට සඳකිඳුරාට හී පහරක් විද්දේය. මේ විෂ හීය වැඳුනු කිඳුරා සිහිසුන්ව ඇද වැටුනේය.
මේ දුටු රජතුමා කිඳුරා මිය ගියා යැයි සිතා සඳකිදුරිය හමුවී තමා ඇයව අග මෙහෙසිය කරගැනීමට කැමති යැයි කී කල තම ස්වාමියා මරා දමා තමා හිමි කර ගැනීමට තරම් පාපිෂ්ඨයකු වී නම් කිසිදා තමා ලබා ගනු නොහැකි යැයි බැණ වැදී පලා ගියාය.
රජතුමා පිටවී ගිය පසු එතැනට නැවත පැමිණි කිඳුරිය, කිඳුරා කෙරේ රැකි පතිවත සත්‍යයක් නම් ඔහු සුව වේවා යැයි සත්‍යක්‍රියා කළාය.
මේ සත්‍යක්‍රියා ඇසූ සක් දෙවිඳු, බමුණු වෙස් ගෙන පැමිණ සඳකිඳුරා සුවපත් කර දී මේ වනාන්තරයෙන් නික්මී වෙනත් තැනකට පලා යන්නැයි කීවේය. සඳකිඳුරු යුවලද චන්දගිරි පර්වතයට පළා ගොස් පෙර පරිදිම වාසය කළෝය.
ජාතක කථාව 471
බ්‍රහ්මදත්ත රජු - අනුරුද්ධ තෙරුන්
කිඳුරිය - යශෝදරා දේවිය
කිඳුරා - බුදුන් වහන්සේ
Last Updated (Saturday, 18 July 2009 00:20)



Comments
RSS feed for comments to this post.